අප ගැන බිඳක්

හැඳින්වීම                                                                                                   

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ වාරිමාර්ග තාක්ෂණයේ මූලාරම්භය කෙසේ කවදා සිදු වී දැයි නිෂ්චිතවම කීමට නොහැකි වුවද පුරාවෘත හා ඓතිහාසික මූලාශ්‍රවලට අනුව පණ්ඩුකාභය රජ දවස හා ඒ ආශ්‍රිත කාල වකවානුවේ දී තාක්ෂණික අංගෝපාංගයන්ගෙන් සමන්විත වාරි කර්මාන්ත ආරම්භ වූ බවට සාධක හමුවේ. එවක් පටන් පැවත එන අප රටේ වාරිමාර්ග පද්ධතියේ ව්‍යාප්තිය ලංකාවේ කෘෂි කාර්මික ජීවන රටාවක් ගොඩනැගීමට මූලික ලෙස බලපා ඇති අතර සාමාන්‍ය ජනතාවගේ ජීවන රටාවේ ප්‍රධාන කොටසක් ලෙසද එය හැඳින්විය හැකිය.

වාරිමාර්ග යෝජනාක්‍රමය සරල ලෙස ගත් විට එය වැව් සහ අමුණු යන අංග දෙකෙන් සමන්විත වේ. එම වාරියෝජනාක්‍රම අතර හෙක්ටයාර 80ට(අක්කර 200ට) වඩා වැඩි පෝෂක ප්‍රදේශයක් සහිත වාරි පද්ධතීන් අප රටේ පවතින අතර ඒවා මධ්‍යම රජයේ අධීක්ෂණය යටතේ පවතින වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබයි. එමෙන්ම පළාත් වාරිමාර්ග ගණයට අයත් වන පෝෂිත ප්‍රදේශය හෙක්ටයාර 80ට(අක්කර 200ට) වඩා අඩු වැව් සහ අමුණු 15,000ක් පමණ ශ්‍රී ලංකාව පුරා විසිරී පවතී. මෙම වැව් සහ අමුණු එක් එක් පළාතට අයත් පළාත් සභාව යටතේ ඇති වාරිමාර්ග දෙපාර්තමේන්තු මගින් පාලනය කරනු ලබයි. තවද වාරිමාර්ග යෝජනා ක්‍රම යම් ප්‍රමාණයක් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී දෙපාර්තමේන්තු මගින් ද පාලනය කරනු ලබයි.

 මධ්‍යම රජය යටතේ ඇති වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන මහා වාරිමාර්ග යෝජනාක්‍රම 12ක් සහ මධ්‍යම වාරිමාර්ග යෝජනාක්‍රම 91ක් උතුරු මැද පළාත තුල පිහිටා තිබේ. එමෙන්ම 2010 ඔක්තෝම්බර් මස 29 වන දින නිකුත් කරන ලද අංක 1677/31 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පිහිටවනු ලැබූ උතුරු මැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මෙම පළාත තුළ පිහිටා ඇති පළාත් වාරි පද්ධතීන් 3221 ක් පමණ පාලනය කරනු ලබයි. මේවායින් වාරි පද්ධතීන් කිහිපයක පාලන කටයුතු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව ආදී ආයතන හරහා සිදු වුවද, ඔවුන් සතුව පවතින අවම මූල්‍ය පහසුකම හේතුවෙන් එම වාරි පද්ධතීන්හි නඩත්තු කටයුතු සහ සංවර්ධන කටයුතු සිදුකරනු ලබන්නේ ද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගිනි.

කලාප                                                                                                        

3221ක් වූ උතුරු මැද පළාත් පළාත් වාරිමාර්ග පද්ධතියේ පරිපාලනමය පහසුව සඳහා පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ කලාප තුනක් පිහිටුවා තිබේ. එම එක් එක් කලාපයට අයත්වන ප්‍රදේශ හා එම ප්‍රදේශවලට අයත් වැව් සංඛ්‍යාව පහත වගුවේ අන්තර්ගත කර තිබේ.

 

දිස්ත්‍රික්කය

කලාපය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

වැව් සංඛ්‍යාව

අනුරාධපුර

 

1

කැබිතිගොල්ලෑව, පදවිය, මැදවච්චිය, රඹෑව, මහවිලච්චිය, නැ.නු.ප., මිහින්තලේ, හොරොව්පොතාන, නාච්චදූව

1431

2

තලාව, තඹුත්තේගම, රාජංගනය, ගල්නෑව, පලාගල, ඉපලෝගම, තිරප්පනේ, ම.නු.ප., නොච්චියාගම

861

3

කැකිරාව, පලුගස්වැව, කහටගස්දිගිලිය, ගලෙන්බිඳුනුවැව

694

පොළොන්නරුව

3

වැලිකන්ද, දිඹුලාගල, තමන්කඩුව, ලංකාපුර, ඇළහැර, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය

235

එකතුව

3221

 

පළාත් වාරි පද්ධති සංවර්ධනය සඳහා මූල්‍ය ප්‍රතිපාදන                              

පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලැබෙන මුදල් ප්‍රතිපාදන ප්‍රමාණය මත වාර්ෂිකව ප්‍රතිසංස්කරණය කරනු ලබන, සංවර්ධනය කරනු ලබන සහ නඩත්තු කරනු ලබන වාරි පද්ධති සංඛ්‍යාව තීරණය වේ. පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට වාර්ෂිකව ලැබෙන මුදල් ප්‍රතිපාදන පිළිබඳ තොරතුරු පහත වගුවෙන් දක්වා තිබේ. එසේ ලැබෙන මුදල් ප්‍රතිපාදන උතුරු මැද පළාතේ 3221ක් පමණ වූ පළාත් වාරි පද්ධතීන් ප්‍රතිසංස්කරණය කිරීමට සහ නඩත්තු කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. වර්තමාන මිල අනුපාතිකයන්ට අනුව, එක් වැවක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 4 - 6 මුදලක් ද, එක් වැවක නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 1 - 2 මුදලක් ද අවශ්‍ය වේ. ඒ අනුව අප දෙපාර්තමේන්තුවට ලැබෙන වාර්ෂික මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් වනනේ වාරි පද්ධති 25ක් ප්‍රතිසංස්කරණය කිරීමටත් සහ වාරි පද්ධති 15ක් නඩත්තු කිරීමට පමණි.

වර්ෂය

සංවර්ධන කටයුතු සඳහා (රු.මිලියන)

නඩත්තු කටයුතු සඳහා (රු.මිලියන)

2009

70

20

2010

185

50

2011

151.7

50

2012

161

75

2013

110

75

2014

185

90

එකතුව

862.70

360

 

පළාත් වාරිමාර්ග සංවර්ධනය සඳහා විදේශ මුදල් ආධාර                           

අවසන් අවුරුදු දෙක තුළ දී විදේශ ආධාර ව්‍යාපෘති දෙකක් යටතේ උතුරු මැද පළාතේ පළාත් වාරි පද්ධතීන් 73ක් ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වූ ගැටුම් වලින් හානියටපත් ප්‍රදේශවල හදිසි සංවර්ධන ව්‍යාපෘතිය හරහා පළාත් වාරිමාර්ග 39ක් ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. තවද JICA මූල්‍ය ණය ආධාර යටතේ ක්‍රියාත්මක වූ හදිසි විපත් පුනරුත්තාපන ව්‍යාපෘතිය මගින් උතුරු මැද පළාතේ පළාත් වාරි පද්ධතීන් 34ක් ප්‍රතිසංස්කරණය කරන ලදි. එම ප්‍රතිසංස්කරණවලට අදාළ තොරතුරු පහත වගුවේ දක්වා තිබේ.

අනු අංකය

ව්‍යාපෘතිය

වැව් සංඛ්‍යාව

වෙන් වූ මුදල් ප්‍රමාණය (රු.මිලියන)

භෞතික ප්‍රගතිය %

1

ගැටුම් වලින් හානියටපත් ප්‍රදේශවල හදිසි සංවර්ධන ව්‍යාපෘතිය

39

296

100

2

හදිසි විපත් පුනරුත්තාපන ව්‍යාපෘතිය

34

310

100

එකතුව

73

606

100

උතුරු මැද පළාතේ වාරි ව්‍යාපෘතීන් සංඛ්‍යාව හා සැසඳීමේ දී නඩත්තු සඳහා ඉතා අඩු මුදලක් වෙන් වන බව ඉහත සඳහන් කරුණුවලින් පෙනී යයි. මේ හේතුවෙන් පුනරුත්තාපනය කරනු ලබන ව්‍යාපෘතීන් ද කාලයත් සමග ක්‍රමාණුකූලව අභාවයට යන අතර අවසානයේ දී විශාල මුදලක් වැය කොට නැවත සංවර්ධනය කිරීමට සිදු වේ. එම නිසා වාරි ව්‍යාපෘතීන් නඩත්තු කිරීම සඳහා අමතර ප්‍රතිපාදන වෙන්කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්වී තිබේ.