උතුරු මැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉතිහාසය
දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ වාරිමාර්ග තාක්ෂණයේ මූලාරම්භය කෙසේ කවදා සිදු වී දැයි නිෂ්චිතවම කීමට නොහැකි වුවද පුරාවෘත හා ඓතිහාසික මූලාශ්‍රවලට අනුව පණ්ඩුකාභය රජ දවස හා ඒ ආශ්‍රිත කාල වකවානුවේ දී තාක්ෂණික අංගෝපාංගයන්ගෙන් සමන්විත වාරි කර්මාන්ත ආරම්භ වූ බවට සාධක හමුවේ.
එවක පටන් පැවත එන අප රටේ වාරිමාර්ග පද්ධතියේ ව්‍යාප්තිය ලංකාවේ කෘෂි කාර්මික ජීවන රටාවක් ගොඩනැගීමට මූලික ලෙස බලපා ඇති අතර සාමාන්‍ය ජනතාවගේ ජීවන රටාවේ ප්‍රධාන කොටසක් ලෙසද එය හැඳින්විය හැකිය. එසේම ස්වයං පෝෂිත ආර්ථිකයක් උදෙසා රටේ සංවර්ධන ක්‍රියාවලියේ මූලික සාධකයක් ලෙස ද වාරිමාර්ග පද්ධතිය හැදින්විය හැකිවේ.
ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 1987/13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා ක්‍රමය ඇතිවීමත් සමඟ එහි 09 වන උපලේඛනයේ 1 වැනි ලැයිස්තුවේ (පළාත්සභා ලැයිස්තුව) 9 හා 19 වැනි ව්‍යාවස්ථාව පරිදි අන්තර් පළාත් වාරි ව්‍යාපෘතිවල වගකීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය වෙත පැවරී තිබේ.
එසේම අන්තර් පළාත් නොවන වාරි ව්‍යාපෘතිවල පාලනය ඇතුළු සියලු වගකීම් පළාත් සභා වෙත පැවරීණි. ඒ අනුව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව උතුරු මැද පළාතේ වාරි ව්‍යාපෘති සම්බන්ධව ක්‍රියාකිරීමට පිහිටුවාගන්නා ලදී. එහි නීත්‍යානුකූල බව 2009 අංක 03 දරණ උතුරු මැද පළාත් වාරිමාර්ග කළමනාකරණ ප්‍රඥප්තිය මගින් ලබා දී තිබේ.
2010/10/29 දින නිකුත්කළ අංක 1677/31 දරණ විශේෂ ගැසට් පත්‍රය මගින් උතුරු මැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත වැව් 3226 ක බලය පැවරී ඇති අතර එම වැව් වල පාලන කටයුතු සම්බන්ධව සෘජුව කටයුතු කිරීමට දෙපාර්තමේන්තුවට හැකියාව පවතී.
එමෙන් ම ගැස්ට් පත්‍රයට ඇතුළත් නොවූ උතුරු මැද පළාත තුළ පිහිටී පසුව හඳුනාගන්නා ලද වැව් කිහිපයක් ද පවතී.
එසේම මධ්‍යම රජය යටතේ ඇති වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනයවන මහා වාරි මාර්ග යෝජනාක්‍රම 12ක් හා මධ්‍ය පරිමාණයේ වාරිමාර්ග යෝජනා ක්‍රම 90ක් පමණ උතුරු මැද පළාත තුළ පිහිටා තිබේ.
කලාවැව ඇතුළුව සැලකිය යුතු වැව් ප්‍රමාණයක් මහවැලි අධිකාරිය මගින් පාලනය වන අතර පළාත තුළ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ වාරිමාර්ග කටයුතු සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී දෙපාර්තමේන්තු ද සාමූහිකව කටයුතු කරයි.
